Saturday, May 9, 2020

මරදන්කඩවල යකඩයා



“මරදන්කඩවල යකඩයා”; මේ නම රට පුරා ප්‍රසිද්ධ වුණේ කැකිරාවේ තැපැල් ස්ථානයේ වෙච්ච දරුණු කොල්ල කෑමක් නිසයි. කොල්ල කෑම විතරක් නෙවෙයි, ඒකෙ ස්ථානාධිපති වෙලා ඉඳපු තම්බයියා නම් පුද්ගලයාව මරණයට පත් කරපු මරදන්කඩවල යකඩයාගේ උපන් ගෙයි නම වෙන්නේ සාංචි ආරච්චිගේ ජිනදාස. නොපනත්කම්, අසාධාරණකම්වලට එරෙහිව කතා කරපු ජිනදාස, දාමරික වැඩවලට යොමු වුණේ තමන්ගේ පෙම්වතිය දෙවැනි ලෝක යුද සමයේදී ලංකාවේ ඉඳපු කාපිරි හමුදා අතින් දූෂණය වෙලා මරණයට පත් වුණු නිසා කියලත් කතාවක් තියෙනවා.
මරදන්කඩවල යකඩයා කියන නම පට බැඳුණු විදිය ගැනත් කතා බොහෝමයි. ඒ අතරින් වැඩිපුර ප්‍රසිද්ධ කතාව වෙන්නේ මනම්පිටියේදී ඔහු හා ගැටෙන්න ආව පුද්ගලයෙක් ව ඔහු යකඩ කූරක් නවා සිර කරපු කතාවයි. කොහොම වුණත් ඔහුට තිබුණු කාය ශක්තිය ගැන නම් කතන්දර නිරතුරුව ම පුවත්පත් වාර්තාවලින් දැකගන්න ලැබුණා.
ධනවතුන්ගෙන් සොරකම් කරන සල්ලි, දුප්පතුන්ට ලබාදුන් රොබින්හුඩ් ගණයේ වීරයෙක් වෙච්ච ජිනදාසගේ කතාව තමයි “යකඩයා” චිත්‍රපටයේ දැක්වුණේ. ගාමිණී ෆොන්සේකා මහත්මයා එහි නිරූපණය කරපු ජිනදාසගේ චරිතය, ලොකු ආන්දෝලනයකට ලක්වුණා. ඒකට හේතුව ඇත්ත ජිනදාස මස් මාංශ නොකන, දුම් පානය හෝ මත්පැන් නොබොන කෙනෙක් වීමත්, චිත්‍රපටයේ ජිනදාස ඒ සේරම කරන කෙනෙක් වීමත් නිසයි.
ගාමිණී ෆොන්සේකා මහත්මයා හැරුණා ම, රවීන්ද්‍ර රන්දෙණිය, ජෙනිටා සමරවීර, අනුලා කරුණාතිලක වගේ ප්‍රවීණ නළු නිළියන් රැසක් මේකේ රඟපෑවා. මේක අධ්‍යක්ෂණය කළේ නීල් රූපසිංහ මහත්මයායි.

No comments:

Post a Comment